Thursday, August 21, 2014

අභිමානය


ඔබේ පින් පෙට්ටියේ
මං සතේ කාසියක්
මියුරු අග බොජුන් මැද
පොඩි පාන් වාටියක්
දැවෙන හිරු මඬල මත
නියොන් ආලෝකයක්
මත් අතරමඟ හැළුනු
දිග අනාඝාතයක්...

පින් කොහිද මට සබඳ
නුඹ ලොවට එබෙන්නට
සින්දුවක පේළි ඇත
මගෙ සෙළුව වැසෙන්නට
සරා සඳ මරා මුව
වසා මුකුලිත පෙමින..
වලාපෙළ විරූපිව හඬයි
නුඹ නැති සොවින...

රන් හුයෙක රළු පහස
මුළු ලොවට පෙනෙන්නට
සන්ඩුවක් වෙමුද අපි
පෙම පසෙක නිධන් කොට...
විරාගික තරු එළිය
තෙමයි තෙත්බර හුස්ම..
හලා හල නුරා සිළ
දවයි සන්තානයම......

Tuesday, August 12, 2014

අබිනික්මන


මල් වඩම් සිහිවටන......
එපා මට ගුණකථන......
සුභ සිහින මත වැතිර
ලිහාලනු මගෙ මතක.....
කාලයේ වැලි අතර
සැඟව යන්නට ප්‍රථම....
ආලයෙන් මිදෙන්නට
සොඳුර මට අවසරද?...

පියදසුන් මුදුවදන්.....
සිනාමල් මිලින කොට...
සුසුම් වැල් කඳුළු මත....
සතපවා සිසිල් කොට....
මතක කැටපත් පවුර
මකා ඔපලනු පිණිස...
අවරගිර ගිලෙන ඉර....
නව හෙටක් මවනු ඇත....

බැඳි හුයෙන් රැඳි පතුම්...
රළු සුළං හා මුසුව....
හඬතලයි නොමදැනී
හද ගැස්ම කම්පිතව....
කැටි ගැසුනු වේදනා
මරා සිඳලනු පිණිස.....
මැවෙන අළුයම ඉසිමි....
සෙනෙහෙ මත දියෙහි පෙණ...

Wednesday, July 23, 2014

මං...මුලා...


පාට පාට මල්
වට රැඳි
ලීන හීනි වැල්...
මත වැද....
හතිහලනා....
නාකි බඹරෙකි මං....
කට මැත දොඩනා....
මූසිකයෙකි මං...

වියපත් උයන් පෙතක...
තනිකඩ මලින් ගහන...
බඹරෙක් ඇස නොගැටුනු...
නිකැළැල් කඩුපුල් සොයනා.....
තනිවම හඬනා...
බිළිඳෙකි මං....
නිල්වන් දැහැනේ....
සිරකරුවෙකි මං...

නිරුදක කතරක් මැද....
ඊතණපත් වදුළක..
හිරු මුවඟින් සැඟවුනු....
පිවිතුරු පිණි දිය සොයනා...
තනිවම හඬනා....
බිළිඳෙකි මං....
කඳුළලි සයුරේ...
සේලරුවෙකි මං....

Saturday, May 24, 2014

විරූපී හීන


වටා ඇත ලෝකයක්
වසා ඇති මූඩියක්...
පලාගෙන හද පියන්....
දැනෙන ආවේගයක්...
ඇසි පියන් යට කරදරෙන්....
විරූපී හීනයක්....
ඇසෙන මානේ නෙතක් කුමටද?
පෙනෙන මානේ හීන මොකටද?
හීනමානේ හිස්මතින්...
ඇවිද යමු අපි..
විගසකින්......

දකිනු රිසියෙන් වටා හිඳිනා....
රකුසු කැළ....
තව උමතු කරවා.....
රිස්ස යනු රිසියෙන්
මෙයින් මතු.....
පලා යමු විගසින් හොරෙන්.....
ගසා අඬබෙර
හිත සොඳින්...
වලා පෙළ මත නළියමින්.....
මැවෙන සෙවනැළි අනියමය හා....
හාද වෙමු අපි එක පයින්.....
ක්‍රෝධ විරහිත
හිතේ අහුමුළු....
පීර පීරා කළඹමින්.....
සොයමු නිදහස ඉත සිතින්....

දෙනෙත් නැහැ
කඩතුරා කුමටද?
සුවඳ නැති මල් එපමණයි.....
හඬක් නැති තැන්
පෙළා තව තව.....
සොයා ඇදෙමුද දූතයන්.....
මත නැගී කීකරු පුතුන්...
මරා හණමිටි මාපියන්...
ගලන රුහිරෙන්...
ඔප දමා යළි...
මවා වීර කාව්‍යයන්.....

Sunday, April 27, 2014

සාංකාව.......


වැරදි කරන තැන
කියන කියන කට.....
කැපි කැපි විසිරෙන
චීත්ත වාටි.....
බලන බලන අත
බිඳෙන බැඳෙන බැමි....
වැටි වැටි නැගිටින
සිතිවිලි පේළි....
ඇසෙන පෙනෙන සර...
මුවග රැඳුනු තෙත....
ඉපිලී සැඟවෙන....
රේන්ද පේළි....
අතර වැදුනු සිත.....
නොදැන දැවෙන විස...
යලි යලි වලිකයි....
හිඳින්න පේවී.....

මල් සුවඳට දහදිය
මුහුවී......
අඳුන් දෙ ඉර යට
ගිනි ඇවිලී.....
පනට වඩා පින
ලෙන්ගතුවී.....
ඉගිලෙන්න හදයි
ජය ටැඹ එසැවී....

එළිය ඇවිත් අඳුරේ
සැතපී.....
රවටන්න හදයි
නෙත් අඳ මලැවී....
හුයෙන් බැඳුනු
රූපය බොඳවී.........
පැන යන්න හදයි
නොදැමුණු සිතැඟී

Saturday, March 29, 2014

නෝක්කාඩු


රෝස මලක් පිපිලා
හදවත මැද....
ගැස්මක් පාසා
කටු පැටලෙයි......
රිදුම් නොදෙන මල්.....
මෙදියත නැතිවද...
හති හලනා ආලය....
විමසයි....

ගලන රුහිරු වැද....
හමන සුවඳ මත.....
අමුතු වසන්තෙක
සිරි පැතිරෙයි......
සැලෙන කඳුළු නෙත....
පැහැය වසන් කොට....
හීන දිගන්තෙක
සිත ඇලලෙයි......

දැනෙන සසල බව
කැවෙන පපුව තුළ...
සිහින මැදින්
එබිකම් කරලයි....
බලන බලන අත..
රැඳුනු මලවි දැල....
කඳුළු මතින්
සිතිවිලි ගෙනයයි......






Wednesday, February 19, 2014

පුබුදුව.....



පහන් සිළක්
දැල්විලා.....
සඳයි තරුයි
තරහ වෙලා.....
හිරුට වඩා එළියයි නුඹ....
සඳුට වඩා සිහිලයි මට....
ලොවට වඩා....
අගනා නුඹෙ කිරිකැටි සිනහව....
හදවත සිරවී ඇත
ඔය මොළකැටි අත් මිට....

හිතේ පවුරු බිඳ හෙළා...
සිතිවිලි යයි...
උතුරලා....
ගතේ වෙහෙස සතුටක් වී.
හද පොපියයි...
නුඹ නිසා.....

ලොවම පෙමින් පුරවලා....
අඳුර මැදින්
ඉරිතලා...
දිවියේ දුක අමතක වෙයි
පුංචි පුතේ...
නුඹ නිසා....

හිතක පැතුම් වැල් ලිහී...
තවත් හදක
පටලැවී.....
මැවුනු සිඟිති ලපටි කැකුළ.....
හිනැහෙන් 
මව් තුරුලෙහි......

ගතේ රුහිරු උණු වෙවී....
මවයි බරැති
සිතිවිලි......
දිවි සයුරේ පහන් කණුව.....
පුතේ නුඹයි
මාහැඟි........